මොකක්ද මේ cBits Box කියන්නේ?

දැනුම් දීමක්: මම Orange/Orel සමාගම් සමග කිසිදු සම්බන්ධයක් නොමැති අතර, මෙම ලිපිය ලිවීම සඳහා ඔවුහු කිසිදු අනුග්‍රහයක් කර නොමැත. සියලු විස්තර මවිසින්ම සොයාගත් අතර මෙම භාණ්ඩය මිලදී ගනු ලැබුවේ මාගේම මුදලින් ය.

මෙහි පින්තූරවල සඳහන් වචන ඉංග්‍රීසි භාෂාවෙන් තිබීම ගැන සමාවන්න.

This article is also available in English language.
මෙම ලිපිය ඉංග්‍රීසි භාෂාවෙන්ද කියවිය හැක.

නිවැරදි කිරීම 12/06/2021: මම කලින් මෙහි එන SD card එක 16GB යැයි සඳහන් කර තිබුනා. එසේ කලේ RPiඑක පණගැන්වූ පසු පෙන්වූ නම නිසයි. එහෙත් මම එම කාඩ්පත ඉවතට ගෙන බලන විට එය 8GB එකක් විය. තවද, Perspex යන වෙළඳ සලකුණ වෙනුවට acrylic යනුවෙන් වෙනස් කෙරුනි.

ළඟකදී යාලුවෙක් එවපු පත්‍රිකාවකින් OrelHome Smart RGB LED බල්බ වට්ටම් සහිතව මිලදී ගැනීමට හැකි බව දැනගත්තා. මෙයින් කීපයක් ගන්නට ආසාවෙන් OrelBuy website එක බලන විට “C Bit Box” කියා යමක් දැක්කා. ඒක ගැන වැඩි විස්තරයක් තිබ්බෙ නෑ.

වගකීම් සහතියකය අවුරුද්දයි කියලා විතරයි තිබ්බෙ

තවත් ටිකක් හොයද්දි, එකම නමින් තව භාණ්ඩයක් විකිණීමට තියෙනවා දැක්කා. දෙකේම මිල රු. 6900/= කියලා තමයි තිබ්බෙ, ඒත් දෙවෙනියට හමුවුන එකේ රු. 34,700/= වට්ටමක් ලැබෙනවා යැ‍යි සඳහන් වුනා. ඒ කියන්නෙ මුල් වටිනාකම රු. 41,600/= වැනි විශාල මුදලක්! රුපියල් 7000කට, මෙම කට්ටලයේ Raspberry Pi 3B+ (1GB RAM) එකක්, 10.1" LCD තිරයක්, එයට අවශ්‍ය අනෙකුත් උපාංග, USB keyboard එකක්, Orange සලකුණ සහිත සාමාන්‍ය USB mouse එකක් සහ තද ප්ලාස්ටික් පෙට්ටියක් ලබා දෙනවා!

මෙම පිටුවේ නම් තව වැඩි විස්තර තිබ්බා

මෙය දෙස බලන විට, ඇත්තෙන්ම මෙය සම්පූර්ණ එහෙත් මූලික පරිඝණකයකි. අදහාගැනීමට නොහැකි දෙය වූයේ ශ්‍රී ලංකාවේදී RPi 3B+ එකක් මිලදී ගන්නවානම් එය මීටත් වඩා මිලෙන් වැඩිවීමය. මට මෙයින් එකක් මිලදීගෙන එය මොන වගේද බලන්න, අත්හදාබැලීම් කරන්න උනන්දුවක් ඇතිවුනා. මම ඉල්ලීමක් කරනවා ඔබෙන්, එවැනි අවශ්‍යතාවයක් නැතිනම් මෙය මිලදී නොගෙන සිටින ලෙසට. තවද, කරුණාවෙන් ආයාචනයක් කරනවා, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් හෝ නැවත නොවිකුනණ ලෙසට. මෙය අධ්‍යාපනික මෙවලමක් වන නිසා, එවිට එහි ඇත්තම අවශ්‍යතාවය හා වටිනාකම තියෙන කෙනෙකුට එය ලබාගත හැකිවනු ඇත.

ඔවුන්ගේ වෙබ් අඩවිය බලනවිට මට හමුවුනා Orel Makerspace Classroom කියා වැඩසටහනක්. එහි අභිමතාර්ථය වූයේ ඊළඟ පරපුරට අධ්‍යාපනික කටයුතු වර්ධනය කිරීම සඳහා තාක්ෂණික සහ IoT-සම්බන්ධ මෙවලම් සහ සේවා ලබාදීමයි. දැන් ලෝකය දිහා බලද්දී, වැඩි වැඩියෙන් පාසැල් ළමුන් තාක්ෂණික දැනුම සොයන නිසා මෙය ඉතා හොඳ පිලිවෙතක්ය.

(මෙම ඡායාරූපය Orel Education වෙබ් අඩවියෙනි)

අපි නැවත මෙම කට්ටලය දෙස බලමු. හරිනම් කට්ටලය සමග BBC micro:bit උපාංග හතරක් ලබා දෙනබව website එකේ සඳහන් වෙනවා. ඒත් මෙම කට්ටලයේ ඒවා නැත (තිරයට පහලින් මෙම උපාංග රැඳවීමට කුඩා පටි හතරක් තිබෙනවා). මෙය මිලදී ගත් මුදල ගැන සිතද්දී ඒවා නැතිබව ගැටලුවක් නොවේ, එහෙත් තිබුනේනම් එවායින්ද යමක් අත්හදා බලන්න තිබුනා. ඔබට වෙනම micro:bit board මිලදී ගන්නට ඕනෑනම්, OrelBuy website එකෙන් හෝ වෙනත් අලෙවිකරුවන්ගෙන් ලබාගත හැක.

ලංකාවට සංචරන සීමා පැනවුණු වසංගත සමයක මම ඇනවුම් කල භාණ්ඩ දින දෙකක් තුලදී මා වෙත ලැබුනි. cBits Box එක එන්නේ විස්තර, පින්තූර සහ තැඹිලි පාටින් පින්තාරු කර ඇති කාඩ්බෝඩ් පෙට්ටියක් තුලය. මෙය තරමක් බර බවක් හැඟුනි (2kg පමණ). ඇසුරුම තත්වයෙන් ඉතා උසස් බව පෙනී යයි.

පෙට්ටියේ උඩ පෙනුම
පෙට්ටියේ වම් සහ දකුණු පස

කාඩ්බෝඩ් පෙට්ටිය විවෘත කල පසු එහි රාජ්‍ය ලාංඡනය තිබෙනවා දැක තරමක් විමතියට පත් වුනෙමි. මෙය ප්ලාස්ටික් පෙට්ටිය මත මෙන්ම එහි ලබාදී ඇති උපදෙස් පොත (ලංකාවේ නිල භාෂා තුනෙන්ම විස්තර කර ඇත) මත ද දක්නට ඇත. ප්ලාස්ටික් පෙට්ටිය ඉතාමත් තද සහ ශක්තිමත් බව පෙනේ. චිත්‍රපටවල පෙන්වන හමුදා කටයුතුවලදී භාවිතාවන එකක් වගේ පෙනුමකුත් තිබෙනවා. පෙට්ටිය ඇතුලත අවශ්‍ය කරන සියලු දේ තිබුනත්, ඉතා වැදගත් දෙයක් වන power adapter එකක් ලබාදී නැත! එමනිසා මට වෙන ආකාරයකින් විදුලිය ලබාදෙන්නටවුනා. ඒ ගැන විස්තර පසුව ලියා ඇත.

පෙට්ටිය තුල ඇති දෑ
කලු තද ප්ලාස්ටික් පෙට්ටිය (HDPE විය හැක)
උපදෙස් පොත

ප්ලාස්ටික් පෙට්ට්යේ පහල බාගයේ keyboard එක, mouse එක, ඒවායේ කේබල් සහ ඉලෙක්ට්‍රොනික පරිපථ දක්නට ලැබේ. මේ පරිපථ නම් ඇත්තේ විනිවිද පෙනෙන acrylic පුවරුවකට යටින්ය. වම්පසින්ම ඇත්තෙ power distribution පරිපථයයි. එයට දකුණින් display board එකද, දකුණු පස කොනෙන්ම Raspberry Pi 3B+ එකද සවිකර ඇත. මේවා අතර විවිධ කේබල් සම්බන්ධ කර ඇත. Power supply එක display board එකට DC jack එකක් මගින්ද, USB හරහා RPi එකටද සම්බන්ධ වේ. RPi එකෙන් එන HDMI out කේබලය display board සමග සම්බන්ධ වේ. ආවරණය කල තවත් කේබලයක් display board සිට පෙට්ටිය උඩ බාගයේ ඇති තිරය දක්වා දිවේ.

විවෘත කල පසු
ඇතුලේ ඇති කොටස් රඳවා ඇති අයුරු
ඇතුලේ ඇති විවිධ පරිපථ
විදුලි සැපයුම් සහ තිරයට සම්බන්ධවන පරිපථවල සමීප ඡායාරූපයක්
Raspberry Pi 3 Model B+ හි සමීප ඡායාරූපයක්

ප්ලාස්ටික් පෙට්ටිය වටේට බලනවිට ports කිහිපයක් සහ power/reset බොත්තම තිබෙන බව පෙනෙනවා. වම් පස ඇත්තේ DC විදුලි සැපයුම සහ USB port දෙකකි. මේවා බල සැපයුමට පමණක් සම්බන්ධ කර ඇති නිසා දත්ත සම්ප්‍රේෂණය සඳහා භාවිතා කල නොහැක (උපරිමයෙන් 5V 140mA විදුලි බලයක් සැපයුව හැකිය). දකුණු පසින් ඇත්තේ RPi එකෙන් ලබාදෙන ports කිහිපයයි. Ethernet port සහ USB port හතරක්. Keyboard සහ mouse සම්බන්ධ කල යුත්තේ මෙයින් දෙකකට ය.

වම්පස ඇති ports
දකුණුපස ඇති ports

Keyboard එකට යටින් තවත් කුඩා පරිපථයක් සහ රිබන් කේබලයක් තියෙනවා ඔබ දකින්නට ඇති. මෙය ඇත්තේ තිරයේ විවිධ වෙනස්කිරීම් කරන්නට ය. එය සම්බන්ධ කර තිබුනු නැති නිසා මම එය සවිකරගත්තා. මෙහි ඇති බොත්තම් මගින් තිරය බලගැන්වීම, නිවාදැමීම හා ආලෝක මට්ටම අඩු වැඩි කිරීම වැනි දෑ කල හැකිය. කෙසේ වෙතත් තිරය හරි ආකාරයෙන් සකසා එවන නිසා, කිසිවක් වෙනස් කිරීමට අවශ්‍ය නොවේ.

Display board එකට සම්බන්ධ කල පාලක පුවරුව

මා කලින් කියා සිටියා මෙම කට්ටලයේ AC-DC adapter එකක් ලබාදී නොමැති බව. උපදෙස් පොතේ සඳහන්වන ආකාරයට මෙයට අවම වශයෙන් 12V 1.5A වත් අවශ්‍ය වේ. මා සතුව මෙයට ගැලපෙන jack එකක් සහ විදුලි සැපයුම් ධාරිතාවක් සහිත adapter එකක් තිබුනේ නැත. තිබුනු එකම 12V adapter එකට සැපයුව හැක්කේ 700mA පමණි. මෙය කිසිසේත්ම තිරයට සහ එකට එකවර බලය සපයන්නට පුලුවන් එකක් නොවේ. එහි jack එක පවා අවශ්‍ය කරන එකට වඩා වෙනස්. වාසනාවකට මෙන්, ඇතුලේ පරිපථ සම්බන්ධ වෙන විදුලි සැපයුම් jack එක මා සතුව තිබුනු adapter එක හා ගැලපුනි.

විවිධ ආකාරයේ jack

එම නිසා power distributor එක සහ display board එක සම්බන්ධ කර තිබුනු කේබලය ගලවා AC-DC adapter එක කෙලින්ම display board එකට සම්බන්ධ කලා. දැන් power distributor පරිපථයෙන් ප්‍රයෝජනයක් නැති නිසා එය සම්පූර්ණයෙන් විසන්ධි කර ඇත. ඉන්පසු RPi එක extension socket එකක ඇති USB port එකකට සම්බන්ධ කලා. මෙහි ඇම්පියර් ගණන 2A පමණ ඇති යැයි සිතාගෙන සිටියත් පසුව RPiහී ඇති රතු බල්බය නිවි නිවී දැල්වුන නිසා එම ධාරිතාව මදි විය යුතුය. මේ හේතුවෙන් විදුලිබල සැපයුම Samsung phone charger (5V 2A) එකකට මාරු කරන්නට සිදුවුනා. එය කල පසු හරි ආකාරයෙන් RPi එක පණගැන්වෙන බව පෙනී ගියා. කොහොම උනත් මෙම කට්ටලය බැටරි මගින් පණගන්වන්නට බැහැ. ඔබ සතුව අවශ්‍ය දැනුම තිබේනම් බැටරි ඒකකයක් සාදා සවිකර බැලීමට හැකිය.

නිවැරදි බල සැපයුමක් නොමැතිව පණගැන්වූ ආකාරය
සියල්ල පණගැන්වූ පසු

Keyboard එක සහ mouse එක ඉතා මූලික වර්ගයේ චීනයේ නිෂ්පාදිත ඒවාය. 60% ආකාරයට හුරු සිහින් keyboard එක සහ Orange සළකුණ ඇති mouse එකක්ය. මෙහි වම් සහ දකුණු බොත්තම්, mouse wheel එක මෙන්ම සාමාන්‍යයෙන් දක්නට නැති CPI switcher බොත්තමක්ද තිබේ.

ඉතා මූලික වර්ගයේ keyboard එකක් සහ mouse එකක් ය

Keyboard එකේ වම්පස මැද හරියේ ඇති බොත්තම් (D අකුර අවට) වැඩ කල නැති නිසා එය ගලවා බලන්නට වුනා. එහි තිබුනු රිබන් කේබලයක් හරි ආකාරයෙන් පරිපථය සමග ගැටී නොතිබුනු නිසා සෙලෝටේප් සහ hot glue යොදාගනිමින් එය සවි කලා. ඉන් පසු වරදක් නැතිව සියල්ල වැඩ කරන්නට ගත්තා. මෙය ඉතාම අඩු ප්‍රමිතියක් සහිත keyboard එකක් නිසා සමහර විට බොත්තම් එකක් දෙකක් එබිලා හිටින්න පුලුවන්!

හරියට සවි නොවූ රිබන් කේබලය නිසා සමහර බොත්තම් වැඩ කලේ නෑ

මම මෙහි එන මෘදුකාංග ගැන වැඩිදුර විස්තර කරන්න යන්නෙ නෑ. පෙනී යන විදියට මෙහි භාවිතා වන මෙහෙයුම් පද්ධතිය වන්නේ ටිකක් වෙනස් කරන ලද Raspberry Pi OS එකක්. micro:bit සහ Python කේතනය සඳහා යොදාගැනීමට අවශ්‍ය IDE කිහිපයක් සහ වෙනත් සාමාන්‍යයෙන් ස්ථාපිත කර එන මෘදුකාංග කිහිපයක් මෙහි තිබෙනවා. තවද කේත උදාහරණ කිහිපයක් සහ උපදෙස් ගොනු ලබාදී තිබෙනවා. පෙට්ටිය තුල තිබුනු උපදෙස් පොතේ ඩිජිටල් පිටපතක්ද දැකිය හැක. මෙම කට්ටලයේ එන SD card එක 8GB යැයි පෙන්වූවත්, “sudo apt-get full-upgrade” කිරීමට යෑමේදී 900MB වත් ඉතිරිව නොතිබෙන බව පෙන්වුනි. මෙය partition කර තිබෙන ආකාරය නිසා විය හැක.

වෙනස් කරන ලද Raspberry Pi OS මෙහෙයුම් පද්ධතිය
සරළ Python කේතනයක් අත්හදා බලමින්

සියල්ල සලකා බලනවිට මෙය කුඩා ළමුන්ට ඉතා අගනා අධ්‍යාපනික මෙවලමක් මෙන්ම RPi සහ අනෙකුත් තාක්ෂණික දෑ අත්හදා බැලීමට කැමති වැඩිහිටි අයටද වටිනා කට්ටලයකි. කුඩා ළමුන්ට ලබාදෙනවානම් වැඩිහිටි අධීක්ෂණය යටතේ ඔවුනට මෙය භාවිතා කිරීමට දීම අත්‍යාවශ්‍යය. කෙසේ වෙතත් මෙය Windows/macOS/Chrome OS පරිඝණකයකට ආදේශකයක් නොවේ. හරියටම බැලුවොත් වැඩි වශයෙන් අත්හදාබැලීම් කිරීමට සරිලන කට්ටලයකි. මෙහි එන තිරයට Samsung smartphone එකක් සවිකර Samsung DeX භාවිතා කිරීමට පවා හැකිවිය. එයට HDMI, VGA, composite video යනාදිය සවි කල හැකි නිසා ප්‍රයෝජන රැසක් තිබේ. පසුකාලීනව desktop භාවිතයට වඩාත් සුදුසු තවත් බලසම්පන්න RPi 4 එකක් වුවද සවිකරගත හැකිය.

මෙම ලිපියෙන් ඔබ යමක් ඉගෙන ගත්තා යැයි මම සිතමි. කියවූ ඔබට බොහොමත්ම ස්තූතියි!

Coffee-to-code converter, passionate about art and music

Coffee-to-code converter, passionate about art and music